රඟපාන්න තියෙන කැමැත්තට තමයි මම නිරූපණයට ආවෙත්..
නිරූපණ ක්ෂේත්රයට නවකයෙක් වෙන කවීෂා කෞමිණිට මෙවර අප ඉඩක් වෙන් කළා. නිරූපණ කටයුතු ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ නිතර කතාබහට ලක්වෙන ඇය ඉදිරියේදී ටෙලි හා චිත්‍රපට රංගනයට පිවිසිමේ බලාපොරොත්තුවකින් පසුවේ. මේ දිග හැරෙන්නේ කවී අපට ඇය ගැන කියූ කතාවයි.
කවී කියන්නේ නිරූපණ ශිල්පිණියක්..
ඔව්, එහෙම කිව්වොත් වරදක් නැහැ. හැබැයි නිරූපණය කියන්නේ මම ආසවට කරන දෙයක්. මම වෘත්තියෙන් හෙදියක්. දැනටත් පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා. හැබැයි කාලය කළමණාකරණය කරගෙන නිරූපණ වැඩත් ඔය අතරතුර කර ගෙන යනවා.
නිරූපිකාවක් වෙන හීනේ ඇති වුණේ..
තෙරේන කාලේ ඉඳලා තිබුණ හීනයක්. පාසල් අධ්‍යාපන කටයුතු නිමා කරලා ඉන්න කොට මම ෆේස්බුක් එකේ දැක්කා නිරූපණයට සම්බන්ධ වෙන අලුත් අය වෙනුවෙන් නිරූපණ පාඨමාලාවක් ආරම්භ කරන දැන්වීමක්. පස්සේ මම ඒක හොයලා බැලුවා. නවකයින්ට හොඳ තැනක් නිසා පස්සේ මම මිස් ඩ්‍රිම් බියුටි ක්වීන් ඇකඩමි එකට සම්බන්ධ වුණා. එතැනින් තමයි මගේ නිරූපණ ගමන ආරම්භ වුණේ කිව්වොත් හරි.
රඟපාන්න අදහසක් නැද්ද කවීට..
අපෝ තියෙනවා. නිරූපණයට ආවෙත් රංගනයට යොමු වෙන්න හොඳ අවස්ථාවක් හදාගන්න. බොහෝම කැමැත්තෙන්.. ආසාවෙන්.. ඉන්නවා චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න. හැබැයි ඉතින් මට ගැළපෙන හොඳ චරිතයක් ලැබෙන්න ඕනා. නවකයින්ට අද ඕනා තරම් ඔය වගේ අවස්ථා හම්බ වෙනවා. ඒත්, ක්ෂේත්රය තුළ රැඳීමක් නැහැ. මට ඕනා හොඳ නිර්මාණයක් හරහා රංගන ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න. දැනට මම ගීත රූප රචනාවලට එහෙම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ජනප්‍රිය ගායිකාවක් වුණ හෂ්මිගේ ගීතයකටත්.
ඔබ වැනි වයසින් අඩු කෙනෙකුට නිරූපණ ක්ෂේත්රය ගැළපෙනවද..
මුලින් නම් පවුලේ අයගේ අකමැත්ත තිබුණා. පස්සේ මම පෙනි හිටිය ඡායාරූප, විඩියෝ දැක්කාම ඒ අය කැමති වුණා. හැබැයි අදටත් ඒ අය මගේ වැඩ ගැන හොයලා බලනවා. මට ගැළපෙන ඒවා විතරයි ඒ අය කරන්න දෙන්නෙත්. නමුත්, සමාජයේ මතයක් තියෙනවා මේ ක්ෂේත්‍ර තුළ වැරදි වැඩ වෙනවා කියලා. ඒ වගේ දේවල් නම් සිද්ධ වෙනවා. ඒත්, තමන් හොඳ නම් තමන් මේ ක්ෂේත්රය තුළ හොඳින් විනයක් තියාගෙන හැසිරෙනවා නම් ඕවා ලොකු දේවල් නෙමෙයි හිතන්න තරම්. අනික මගේ පවුලේ අය වගේම මගේ පෙම්වතා දන්නවා මම එහෙම වැරදි දේවල්වලට යොමු වෙන්නේ නැහැ කියලා.
වැඩිපුරම ඔබ කැමති මොන වෘත්තියද එතකොට..
රැකියාවක් විදිහට නම් හෙද වෘත්තිය. පොඩි කාලේ ඉදලා නම් ඉතින් නිරූපණය පැත්තට තමා ආස කළේ. ඒත්, දැන් ගොඩක් කැමති රඟපාන්න. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා දැන්. මම හිතනවා ඉතා ඉක්මණින් මාව එවැනි කලා නිර්මාණයක් හරහා ඔබට දකින්න ලැබෙයි කියලා.