බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන්ටත් මරණ තර්ජන
ලෝකයේම ආදරය දිනාගත් බොලිවුඩයේ සුපිරි තරුව වූ නළු ෂාරුක් ඛාන්ටද මේ වනවිට මරණ තර්ජන එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. ප්‍රකට ඉන්දීය එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 05 වැනිදා) සවස මෙම තර්ජනය ෂාරුක්ටත් එල්ල වී ඇති බවය. එමෙන්ම ෂාරුක් මේ වනවිටත් මෙම මරණ තර්ජනයට එරෙහිව කප්පම් ගැනීම් සහ සාපරාධී බිය ගැන්වීම් පිළිබඳව නඩුවක් මුම්බායි අධිකරණයට ගොනුකර ඇති බවද සඳහන් වෙයි.
ඒ අනුව සයිබර් ආරක්ෂක අංශ සමඟ එක්ව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව, මුම්බායි පොලිසිය මාධ්‍යය දැනුම්වත් කරමින් පවසා ඇත. එම ප්‍රකාශයට අනුව ෂාරුක් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අනතුරු අඟවමින්, චතිස්ගාර් ප්‍රාන්තයේ රයිපූර් ප්‍රදේශයේ ෆයිසාන් නම් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි අංකයකින් මෙලෙස තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මුම්බායි හි බන්ද්‍රා පොලිසිය සඳහන් කර සිටින්නේ මෙම ඇමතුම හරහා ඔවුන් ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවයි. එමෙන්ම මෙය ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් සිදු කර ඇති බවටද ඔවුන් සැක පළ කරද සිටියි. මීට පෙර මෙම කල්ලියෙන් සුපිරි නළු සල්මාන්ටද මරණ තර්ජන එල්ල කර තිබුණි.