Uthmirror

පහ වසරේදී තමයි මම මුලින්ම මයික් එක අතට ගත්තේ

පහ වසරේදී තමයි මම මුලින්ම මයික් එක අතට ගත්තේ

මෙවර අප ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක් වූ නිමාෂා රත්නායකට ඉඩක් වෙන් කළා. දැනට ලක් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය දැනට එම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන්නීයක්ද වෙයි.

නිවේදිකාවක් වෙන හීනේ ඇතිවුණේ කොහොමද?

පාසල් කාලේම තමා. මම මුලින්ම මයික් එකක් අතට ගත්තේ පාසලේ පහ වසරේ ඉගෙනුම ලබද්දි. ඒ කාලේ පන්ති භාර ගුරුතුමියගේ ඉල්ලීම මත පන්තියේ නාම ලේඛනයට අනුව හැමෝම වේදිකාවට ගිහින් කතා කරන්න ඕනා. කාලයක් යද්දි ඒකට මම ගොඩක් ආස වුණා. ඊට පස්සේ පන්තිභාර ගුරුතුමියත් එක්ක කතා කරලා රැස්විම මමම ඉදිරිපත් කරන්න ගත්තා. හය වසරේදී මම කොළඹ පාසලකට ඇතුළත් වුණා. ඒ විද්‍යාලයේම තිබුණ මාධ්‍යය ඒකකයට මාව තෝරගත්තා. එතැනින් තමයි නිවේදිකාවක් ලෙස මම මගේ ගමන ආරම්භ කළේ.

නිමේෂා පාසල් කාලේ මොනවටද දක්ෂ?

මම පාසල් හතරක අධ්‍යාපනය ලබපු කෙනෙක්. වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය, කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසල, මණ්ඩාඩුව මධ්‍ය විද්‍යාලය හා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය. පාසල් යන කාලේ ක්‍රීඩාවට තමා මුල්තැන දුන්නේ. වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට්, එල්ලේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ වුණා. පාසලේ කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාව විදිහටත් මම කාලයක් කටයුතු කළා. ඊට අමතරව දුර පැනීම වගේ මීටර් 100 කෙටිදුර තරගවලට ඉදිරිපත් වුණා. තව පාසල් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක්, රදපස මාධ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ට සාමාජිකාවක්, ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙ සාමාජිකාවක්, තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක්, විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වෙලා හිටියා. තව පාසල් නාට්‍ය කණ්ඩායමේ වැඩ කළා ක්‍රීඩාවට අමතරව වැඩිපුරම මම පාසල් යන කාලේ කළේ මුල්තැන දුන්නේ කලාවට. හැබැයි මම හැම දෙයක්ම සමබරව කරගෙන ගියා.

කොහොමද නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

පාසල් අධ්‍යාපනය කරන කාලේම මම නිවේදනයට සම්බන්ධ පාඨමාලාවක් හැදැරූවා. අ.පො.ස සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල එන්න කලින් රූපවාහිනි නිවේදිකාවක් විදිහට Share market Ambassador කෙනෙක් විදිහට ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණා. නැවත මම උසස් පෙළින් පස්සේ තමයි ලක් එෆ් එම් ගුවන්විදුලි නාලිකාවලට ගියේ. රැකියාව සමග මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ මහජන සබදතා හා මාධ්‍ය කලමණාකරණ විෂය හදාරනවා .

දැනටත් ඔබ නිවේදිකාවක් විදිහට වැඩ කරනවා?

ඔව්, ලක් එෆ් එම් ගුවන් විදුලි සේවයේ. එහි දිනපතා උදෑසන හතට පටන් ගන්න IQ මීටරය, දහවල් එකට පටන් ගන්න දිවා රිද්ම වගේ සති අන්තයේ විකාශය වෙන සෙනසුරාදා උදෑසන දහයට යන ලක් සති අන්තය වගේම ඉරිදා දහවල් එකට විකාශය වෙන ලක් ප්‍රිමියර් වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඇත්තටම නිවේදන ගමනෙ ආරම්භය මෙහෙම වුණ එක ගැන ගොඩක් සතුටුයි .

මාධ්‍යය ජිවිතේ අමතක නොවන සිදුවිම් එහෙම ඇති?

IQ මීටරය කියන්නෙ ජීවිතේට හිතපු නැති දෙයක්. පාසල් නිවේදක භූමිකාවේ ඉඳලා කරපු වැඩසටහන මෙහෙයවන්න ලැබීම ඇත්තටම හිතාගන්න බැරි සිදුවීමක්. iQ මීටරය වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඉෂාර චන්දිමාල් සර්. ඔහු තමා ලක් එෆ් එම් නාලිකාවේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරි තුමා. නිවේදනය වෘත්තියක් විදිහට කරද්දි ඒ වගේ ප්‍රධානියෙක් සමග පළමු වැඩසටහනේම සහය නිවේදිකාවගේ භූමිකාව කරන්න ලැබීම අමතක නොවන සිදුවීමක්. 

මේ ගමන එන්න අත දුන්නේ?

අම්මාට මුල්ම ස්තුතිය දෙන්න කැමතියි. අප්පච්චි නැතුව මේ තරම් දුරක් මාව ගෙනාවට. මාව ප්‍රතික්ෂේප කරපු වගේම මා සමග මේතාක් දුර ගමනක් ආපු හැමදාමත් මගේ ළඟින්ම හිටිය අයව මේක අවස්ථාවක් කරගන්න ස්තුති කරන්න. මම තනියම ආපු ගමනක් නෙවෙයි මේක. ඒ වගේම වෘත්තිය වටිනාකමක් දිලා ලක් එෆ් එම් රේඩියෝවට මාව තෝරගත්ත එහි සභාපතිතුමා, අධ්‍යක්ෂකතුමිය, කළමණාකාරතුමා ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වන අතර මගේ සහෘද කාර්ය මණ්ඩලය ආදරයෙන් මතක් කරන්න ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *