කලාවට සම්බන්ධ වෙනවා කියලා හීනයක් තිබුණේ නැහැ මට
කලා ක්ෂේත්රයට තවමත් නවකයෙක් වෙන තරින්දි හෙට්ටිආරච්චිට මෙවර අප මෙසේ ඉඩක් වෙන් කළා. වර්තමානය වනවිට නිරූපණ ශිල්පිණියක් ලෙස නිතර දකින ඇය දක්ෂ රංගන ශිල්පියෙක් සේම හඬකැවිම් ශිල්පිණියක්ද වෙනවා. කෙටි කාලයක් තුළදී කලා ක්ෂේත්රය තුළ තමන් ආ ගමන් මඟ ගැන ධනුජා අපට කිව්වේ මෙහෙමයි.
මේ ක්ෂේත්රයට ඔබ ආවේ අහම්බෙන්..
ඔව්, ක්ෂේත්රයට සම්බන්ධ වුණේ නම් මම අහම්බෙන්. දවසක් පමුදිත කියලා කෙනෙක් මට කතා කරලා කිව්වා ඔහු නිර්මාණය කරන ගීත රූප රචනාවකට සම්බන්ධ වෙන්න කියලා. හැබැයි ඒ වෙන කොට නම් මට කිසිම අත්දැකිමක් තිබුණේ නැහැ රඟපාන්න. හැබැයි මම වැඩේට කැමති වුණා. ඒ වැඩේ කළාට පස්සේ ලොකු කැමැත්තක් ඇතිවුණා කලාව පැත්තට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න. ඔය විදිහට තමයි මම ක්ෂේත්රයට ආවේ.
දැනට ඔබ කලා නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා..
පමුදිතගේ ගීත රූප රචනාවෙන් පස්සේ මම කවර් සෝන්ග් එකක් කළා. තව ස්වර්ණවාහිනියේ නිවුස් ඇඩ් එකක් කළා. සමහන් ඇඩ් එකක වොයිස් කළා. ඊට පස්සේ නිරූපණය පැත්තට සම්බන්ධ වෙලා පොටෝ ෂුට් ගණනාවකට මම පෙනි හිටියා. දැනට බොහෝමයක් ඒවා නිකුත් කරලා තියෙනවා වගේම ඉදිරියට එන්න තවත් පොටෝ ෂුට් ගණනාවක් තියෙනවා මගේ.
ඕනෑම ක්ෂේත්රයක රැඳෙන්න නම් ඒ පිළිබඳව දැනුම්වත් බවක් හැදැරීමක් තියෙන්න ඕනා නේද..
මම ඩිලාන් සේනානායක සර්ගේ ඩබින් ඩිප්ලෝමා එකක් කරනවා දැනට. ඊට අමතරව ඉදිරියේදී නිරූපණයට සම්බන්ධ ඇකඩමියකට එකතු වෙලා ඒ ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා. දැනටමත් ඒ සඳහා මම මොඩල් ඇකඩමියකට අයදුම්පත් යොමු කරලා තියෙන්නේ. නුදුරේම ඒ හරහා නිරූපණය ගැන වැඩිදුරටත් හදාරන්න මම බලාපොරොත්තු වෙනවා.
පොඩි කාලේ කලාව පැත්තට සම්බන්ධ වෙන හීනයක් තිබුණද ඔබට..
නැහැ, පොඩි කාලේ හීනයක් තිබුණේ නැහැ. කොටින්ම මේ ක්ෂේත්රයට මම ආවේ අහම්බෙන්. හැබැයි මම කලාවට සම්බන්ධ වුණ මුල් අවදියේ එක්තරා පුද්ගලයෙක් කිව්වා %උඹලාට පුළුවන්ද නිළියෝ වෙන්න^ කියලා. අන්න ඒ වචන ටික මගේ හිතට තදින් කාවැදුණා. ඊට පස්සේ තමයි මම කලාව පැත්තට සම්බන්ධ වෙලා ඒ හරහා ලොකු ගමනක් යනවා කියලා හිතාගත්තේ.
ඔබ වඩා කැමති නිරූපණයටද.. රංගනයටද..
මට මුලින්ම කරන්න ලැබුණේ ගීත රූප රචනාවකට පෙනී ඉන්න එක. ඒක රංගනයට සම්බන්ධ වැඩක්. හැබැයි දැනට මම පූර්ණ කාලීනව නිරූපනයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මොකද, දැන් මගේ අදහස රංගනයට වඩා නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න.
කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ..
මේ ක්ෂේත්රයට විවිධ ක්‍රම ඔස්සේ ඕනැම කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ගොඩක් අයට වැදගත් විදිහට ක්‍රමානුකූලව මේ ක්ෂේත්රය තුළ යන්න බැහැ. අලුත් අයට මේ ක්ෂේත්රය තුළ එල්ල වෙන අනිසි බලපෑම් වැඩියි. ගොඩක් අය ලේසියට ඒ ක්‍රම භාවිතා කරමින් මේ ක්ෂේත්රයට එකතු වෙනවා. ඒත්, ඔවුන්ට ලොකු ගමනක් මේ ක්ෂේත්රය තුළ යන්න බැහැ කියලා මම දකිනවා. මට අවශ්‍ය මේ ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් යන්න. එකත් හරි විදිහට. ඉක්මන් ගමනක අවශ්‍යතාවයක් මට කොහෙත්ම නැහැ. ඒ නිසා කාලය අරගෙන මම කලා ක්ෂේත්රය තුළ ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.