Uthmirror

ඉදිරියේදි මම වේදිකා නාට්‍යවලට වැඩිපුර දායක වෙනවා

ඉදිරියේදි මම වේදිකා නාට්‍යවලට වැඩිපුර දායක වෙනවා

රංගන ශිල්පිනියක් සේම හඬ කැවීම් ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නේහා බාලසූරිය වර්තමානයේ බොහෝ දෙනෙකු අවධානය දිනාගත් යොවුන් කලා ශිල්පිනියකි. මේ නිසාම අපද මෙවර ඇය වෙනුවෙන් ඉඩක් වෙන කළා. මේ දිග හැරෙන්නේ නේහාගේ කතාවයි.

නේහා කියන්නේ කවුද?
මම කලා ශිල්පිනියක්. මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ හඬ කැවීම් ශිල්පිනියක් විදිහට. පස්සෙ තමයි රංගනයට මම සම්බන්ධ වුණේ.

දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?
මුලින්ම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයින්ට මාව දකින්න ලැබුනේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ “ලෝකා” හරහා. ඊට පස්සේ, එම නාලිකාවේ විකාශය වුණ ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂණය කරපු “අකුරු අස්සේ” ටෙලි නාට්‍යයේ පොඩ්ඩි කියන චරිතය තුළින් ප්‍රේක්ෂකයන්ට මාව දකින්න ලැබුණා. “ලොකු ඉස්කෝලේ මහත්තයා” කතාවේ නිමාලි. “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යයේ අමිලාගේ දුව සඳලි කියන චරිත හරහාත් මාව ප්‍රේක්ෂකයින් දුටුවා. ඊට අමතරව ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂණය කරපු ටෙලි ෆිල්ම් දෙකකට මම තිර රචනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා දැනට. ඊට අමතරව එෆ්. එම්. දෙරණේ විකාශය වුණ “කෙම්මුර අඩවිය” වැඩසටහනේ රචිකාවක් විදිහටත් කටයුතු කළා. මගෙ පළවෙනි හඬකැවීම් අත්දැකීම “සුපර් ශිවා” කාටූන් එකේ රෝසි ගේ චරිතය. “යවෙස් ලූ කුමරා” හි හන් ගා යූන්, “ඇවෙන්ජර්ස්” වාස්ප්, දෙරණේ විකාශය වුණු “චංගුමී” කාටූන් මාලාවේ චංගුමීගේ චරිතය, මේ දිනවල ටීවී දෙරණින් විකාශය වන “ඇල්වින් ඉන් ද චිප්මන්ක්ස්” කාටූන් එකේ ජැනට්, “නිල් කුරුමිට්ටෝ” වර්ෂා හා බිගෝනියා වගේ තව ගොඩක් කාටූන් චරිත වලට මගේ හඬ දායකත්වය දීලා තියෙනවා. ඊට අමතරව ගුවන්විදුලි රූපවාහිනී සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් සඳහා ද හඬ දායකත්වය සපයනවා.

ඉදිරියට එන්න තියෙන ඔබ දායක වුණ නිර්මාණ තියෙනවාද?
දෙරණ නාලිකාවේ විකාශය වෙන්න නියමිත කාටූන් මාලාවක ප්‍රධාන චරිතයකට හඬ දායකත්වය සපයනවා. තව මම දායක වුණු ටෙලි නිර්මාණ දෙකක් එන්න තියෙනවා. අසංක සායක්කාරගේ “සින්ටෝ” ටෙලිනාට්‍යයේ ජගන්මා සහ නිලංක නාමල් උඩුමුල්ලගේ “යන එන මං” ටෙලිනාට්‍යගේ චූටි කියන චරිත තමයි මම එම නිර්මාණ වල පෙනී ඉන්නේ. ඉදිරියේදී වේදිකා නාට්‍ය සමඟත් මීට වඩා වැඩ කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.

නේහාට පාසල් කාලේ මතකද?
පෙරපාසල් කාලයේ ඉදන්ම මම නර්තනය ගායනය හා රංගනය කියන අංශ වලින් දක්ෂතා දක්වලා තියෙනවා. දෙරණේ “ලිටල් ස්ටාර්” රියලටි තරගේ පළවෙනි වටයට මම නර්තන හා ගායන අංශ වලින් ඉදිරිපත් වෙලා තියෙනවා. තව 2009 වසරෙ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා. පාසල් කාලයෙත් නිවේදනයෙන් නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මුලින්ම නර්තනය විෂයක් විදිහට හැදෑරුවා. නමය වසරේ මම නාට්‍ය හා රංග කලා විෂය හදාරන්න ගත්තා.උසස් පෙළ වලින් පස්සේ සෝමලතා සුබසිංහ” ප්ලේ හවුස්” ආයතනයේ රංගනය පිළිබඳ පාඨමාලාව හැඳෑරුවා.

නේහා දැන් විශ්වවිද්‍යාල සිසුවියක්?
ඔව්. දැනට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. වේදිකා නාට්‍යක පුහුණුවීම් කරගෙන යනවා. රංගනය, හඬකැවීම්, තිර රචනය කියන ක්ෂේත්‍ර ගැන හොයමින් ඒවා සමග අලුත් දේවල් අත්හදා බලමින් ඉන්නවා. ඒ එක්කම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතුත් සාමාන්‍ය විදිහට කරගෙන යනවා.

මේ ගමන එන්න නේහාට ගොඩක් අය උදව් කරන්න ඇති?
ඔව්, මුලින්ම මගේ අම්මා. එයා නිසා තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ කිව්වොත් හරි. ඒ වගේම මගේ අක්කා, අයියා, තාත්තා. තව මගේ මුල්ම රංගන අවස්ථාව ලබා දීපු මගේ උසස් පෙළ නාට්‍ය හා රංග කලා ගුරුතුමා අකිල සපුමල් මානවඩු. රංගනයෙදි රචනයෙදි වගේම ජීවිතයේදිත් මගෙ ලඟින් ඉන්න තනුජාවි විජේවික්‍රම අක්කා. ශානිකා තරංගනී අක්කා. හඬකැවීම් කියන දේ මුලින්ම කියලා ඒ පිළිබඳව ආසාවක් ඇති කරපු දිලාන් සේනානායක. මගේ විශ්වවිද්‍යාලගේ මිතුරෝ මේ හැමෝම මේ වෙලාවේදි මතක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *