Uthmirror

මුලින්ම රඟපාන කොට මට හරියටම වයස අවුරුදු දහහතයි

මුලින්ම රඟපාන කොට මට හරියටම වයස අවුරුදු දහහතයි

සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමරියට පණ පෙවූ අභිලාෂි සංතුෂ්කා මේ දිනවල ඔබ ආදරය කරන යොවුන් රංගන ශිල්පිණියකි. ක්‍රමයෙන් කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගනිමින් සිටින ඇය අපද මෙසේ ඉඩක් වෙන් කළා. මේ දිග හැරෙන්නේ ඇය සමග අප කළ කතා බහයි.


කොහොමද සුප්පා කුමරියට ලැබෙන ප්‍රතිචාර..
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු රංගනය. පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂකයින් අතරට යන්න හැකි වීම ඇත්තටම ලොකු භාග්‍යයක් කියලා මම හිතනවා. කොටින්ම මම සිංහබාහු චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන කොට මේ වගේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ. නමුත්, අද මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ඉහළ රසික ප්‍රතිචාරයක් මගේ ආදරණිය රසික ප්‍රජාවගෙන් මට ලැබෙමින් පවතිනවා.


සුප්පා කුමරිය චරිතය ලැබුණේ කොහොමද..
සුප්පා කුමරියට රඟපාන කොට මට යාන්තම වයස අවුරුදු දහහතක් පිරුණා විතරයි. පොඩි කාලේ ඉඳලා මම අභියෝග භාරගන්න කැමති කෙනෙක්. ඉතින්, මට පොඩි වයසක් වුණත් මම මේක අභියෝගයක් විදිහට රඟපාන්න භාරගත්තා. කලාවට එකතු වෙනවා කියන හීනේ මගේ පොඩි කාලේ තිබුණා. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙද්දි මම ආයේ දෙපාරක් හිතන්නේ නැතුව මේක භාරගත්තා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා අධ්‍යක්ෂතුමා, නිෂ්පාදකතුමිය වගේ චිත්‍රපටයට සම්බන්ධ වුණ ප්‍රවිණ රංගන ශිල්පින් පිරිස. ඒ අය මට ගොඩක් උදව් කළා මගේ චරිතය හොඳට කරන්න.


ඔබේ පළවෙනි චිත්‍රපටය රූපගත කළත් වසර කිහිපයක් ගියා ප්‍රදර්ශනය වෙන්න..
ඔව්, අවුරුදු කිහිපයක් ගියා. නමුත්, ඒ කාලය තුළ මම නිරූපණ වැඩවලට සම්බන්ධ වුණා. ඒ වගේම මිස් ටින් පැජන්ට් එකකටත් සම්බන්ධ වෙලා එකෙන් ජයග්‍රහණයත් කළා. ඒ ජයග්‍රහණය මට ලොකු පිටුවහලක් වුණා මගේ ඉදිරි කලා කටයුතුවලට. විශේෂයෙන්ම නිරූපණ වැඩවලට.


පාසල් කාලේදී ඔබ කලාවට සම්බන්ධ වෙලා වැඩ කළාද..
ඔව්, මට වයස අවුරුදු නමයක් දහයක් වෙද්දි මම පාසල් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනය නිමාවන තුරුම මම සිංහල වගේම ඉංග්‍රීසි වේදිකා නාට්‍යය දෙවර්ගයට දායකත්වය දුන්නා. ඒ වගේම ඇක්ටි ෆෝර් තියටර් ෆෝර් චේන්ජ් ආයතනය හරහාත් පසුව රංගනය ගැන හදාරන්න කටයුතු කළා. පාසල් කාලයේදී ඉතින් ගොඩක්ම මම කළේ රංගනය, නර්තනය හා ක්‍රීඩා. පිහිනුම් ඉසව්වෙන් මම පාසල වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගත්තු කෙනෙක්.


සිංහබාහු වලින් පස්සේ අභිෂේකාව ආයෙත් අපිට දකින්න ලැබෙන්නේ..
දැනට ආරාධනා ගොඩක් මට ලැබිලා තියෙනවා. නමුත්, එන හැම වැඩක්ම භාරගන්නේ නැහැ මම. බොහෝම හිතලා මතලා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි මම ඒ වැඩේ භාරගන්නේ. අනික මගේ අම්මා කියලා තියෙන්නේ එන හැමදෙයක්ම කරන්න එපා වෙලාව එනකල් ඉවසලා ඉමු කියලා. එතකොට හොඳම නිර්මාණය ඔයාට ලැබෙයි කියලා. ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි සිංහබාහු කියන්නේ මට. සිංහබාහු ලැබෙන්න කලින් මට ආරාධනා ගොඩක් ආවා. ඒත්, මම භාරගත්තේ නැහැ. හොඳ වැඩක් එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. කාලයත් එක්ක ඒක මට ලැබුණා. ඉතින් දැනට නිර්මාණ කිහිපපයකට මම දායක වෙන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉදිරියේදී මාව හොඳ නිර්මාණ හරහා දකින්න ලැබෙයි.
ඡායාරූප – සජිව ලක්ෂාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *