Uthmirror

කලා ක්ෂේත්‍රය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න මට අවශ්‍යයි

කලා ක්ෂේත්‍රය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න මට අවශ්‍යයි

මේ දිනවල කොයි කවුරුත් ආදරයෙන් රසවිඳින ටෙලි නාට්‍යයක් තමයි හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන පුංචි අන්දරේ කියන්නේ. මෙහි රංසිනාගේ චරිතයට පණ පොවන්නේ ශෙලිනි රත්නායක. විශේෂත්වය වන්නේ ශෙලිනි තවමත් පාසල් යන යෞවනියක් වීම. ඉතින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ මේ පුංචි ශෙලිනිගෙන් අප මෙහෙම තොරතුරු ටිකක් ඇහුවා.


ශෙලිනි රංගන ශිල්පිනියක් වුණේ කොහොමද..
මම මුලින්ම පාසල් ගියේ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයට. එහි පාසල් ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් මම පළාත් මට්ටමේ තරග වලින් ජයග්‍රහණය හිමි කර ගත්තා. ඉන් පසුව පාසලෙන් පිට මම සහභාගි වුණ පළමු කලා නිර්මාණය තමයි මේ දිනවල හිරු රූපවාහිනියේ දිග හැරෙන පුංචි අන්දරේ කියන්නේ. ඒ හරහා තමයි මම කලා ක්ෂේත්‍රයට එකතු වුණේ කිව්වොත් හරි.


තවමත් ඔබ පාසල් යන කෙනෙක්..
ඔව්. දැනට මම නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ලබන වසරේදී තමයි මම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දිනවල කලා කටයුතුවලට එකතු වෙනවා වගේම පාඩම් වැඩවලටත් ලොකු අවධානයක් දිලා තියෙනවා මම.


රංගන ශිල්පිණියක් විදිහට ඔබ පුංචි අන්දරේට විතරද දැනට දායක වෙලා තියෙන්නේ..
ඔව්, පුංචි අන්දරේ ටෙලි නාට්‍යයේ රංසිනාගේ චරිතයට ඉහළම රසික ප්‍රතිචාර මේ දිනවල මම විඳිමින් ඉන්නවා. ඊට අවස්ථාව ලබාදුන් ප්‍රියාල් වීරසිංහ මාමටත්, මදුශාන් හත්ලහවත්ත මාමටත් මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. පුංචි අන්දරේ හැරෙන්න මම පසුගිය කාලේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ වගේම ඉදිරියේදී නිර්මාණය කිරීමට සූදානම් කරලා තියෙන තවත් කලා නිර්මාණ කිහිපයකටම එකතු වෙන්න කියලා දැන් ආරාධනා ලැබිලා තියෙනවා.


කලාවට සම්බන්ධ වීම ගැන ශෙලිනිගේ අදහස..
පොඩි කාලේ ඉඳලාම කලාවට සම්බන්ධ වීමට ලැබුණ එක ගැන ඇත්තටම, මම ගොඩක් සතුටු වෙනවා. මේ වගේ අවස්ථාවල් හැමෝටම ලැබෙන්නෙ නෑ. ඒකට වාසනාවක් තියෙන්නම ඕනා කියල මම විශ්වාස කරනවා. ඉතින් ඒක ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.


දිගටම කලාවත් සමග රැදෙන්නද අදහස..
ඔව්. ඉගෙනීමේ කටයුතු සහ කලා කටයුතු සමබරව ඉදිරියට කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනව. තව මම මේ ක්ෂේත්‍රය ගැන වැඩිදුර ඉගෙන ගන්නත් ලොකු ආසාවෙන් තියෙනවා මට.


පවුලේ අයගේ ලැබෙන සහය මොන වගේද..
ඇත්තටම අම්මා, අප්පච්චි, මල්ලි වගේම මගේ අත්තම්මා, සීයාත් මට ගොඩක් උදව් කරනවා. අම්මා මගෙ සෙවණැල්ල වගේ මගේ ගාවින් හැම වැඩකදීම ඉන්නවා. තව මගේ පාසලේ විදුහල්පත්තුමිය වගේම ටීචර්ලවත් මතක් කරනවා. මුලින්ම මගේ හැකියාව අඳුරගෙන පාසලේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ කරගත් සහ ඒ ගැන වැඩිදුර කියා දුන් දිලීපා සේරසිංහ ටීචර්ටත්, විසාකා ජයවීර මැඩම්ටත්, මේක අවස්ථාව කරගන්නවා ස්තූතිවන්ත කරන්න. ඒ වගේම හැමදෙයකටම ගුරුහරුකම් දෙන සමන්ත කුමාර ගමගේ මාමවත් ආදරෙන් මතක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *