ලෝක කුසලානයට ශ්රී ලංකා කාන්තා කණ්ඩායමත් එක් වෙයි
ඔක්තෝබර් 02 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන 2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීම සඳහා ඩුබායි හි පැවති සුදුසුකම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ප්රබල ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා පෙන්වූ ස්කොට්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
තරගාවලිය සඳාහ කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් තරග වැදි අතර, ශ්රී ලංකාව පළමු කාණ්ඩයේදී මුල් වටයේදී තරග සඳහා ක්රීඩා කළහ. මුල් තරග වටයේදී අපරාජිත දෙවැනි වටයට පිවිසි ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ඔවුන් මුහුණ දුන් සියලු තරග ජයගැනීමටද සමත් විම කැපී පෙනුණි.
මුල් තරග වටයේදී එක් තරගයක් පරාජයට වූ ස්කොට්ලන්තය වාසනාවට අවසන් මහා තරගයට පැමිණි අතර, එහිදි ඔවුන් ශ්රී ලංකාව හමුවේ ලකුණු 68කින් පරාජයට පත් විය. අවසන් තරගයේදී ප්රවේගකාරි පිතිහරඹයක නිරත වූ ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු සිය ක්රිකට් දිවියේ දෙවැනි විස්සයි 20 ශතකයද වාර්තා කරන්නට සමත් විය. ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ විස්සයි 20 ශතක දෙකක් ලබාගත් පළමු කෙනා චමරි බවටද මෙහිදි පත් විය. මෙම දස්කම නිසාම ඇය සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහා තරගයේ වීරවරිය ලෙසද සම්මානයට පාත්ර වූවාය.