බොහෝ දුරට මම ආයේ රඟපාන්නේ නැති වෙයි
නැහැ මම ආයේ රංගනය පැත්තට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද, මම කැමතියි එක පැත්තක් විතරක් කරගෙන ඒ ගමනේ සාර්ථකත්වයක් ලබාගන්න. ගායිකාවක් විදිහට මම දැන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන්ම ඉදිරියට යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. අනික් කාරණය තමයි රඟපාන්න දැනන් මට කාලය හොයාගන්න බැහැ සංගිත වැඩවලටත් පෞද්ගලික ජිවිතේ වැඩවලටත් කාලය යෙදෙව්වාම වෙනත් දේකට යොමුවෙන්න කාලයක් ඇත්තටම නැහැ.
ජනප්රිය ගායිකා නදිෂා දයාරත්නන මෑතකදී ඩිජිටල් සඟරාවක් සමග සම්බන්ධ වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ අදහස් දක්වා තිබුණි. මේ දිනවල ඇයගේ අලුත්ම ගීතයක් ඔබට අහන්න පුළුවන්. ඒ ඇය විසින්ම මිට මාස අටකට පෙර ගායනා කළ පෙරෙදා.. කියන ගීතයේ ගීටාර් වර්ෂන් එකක්. ගීතය නම්ම කරලා තියෙන්නේ හරි ආදරයෙන් උන් කාලේ.. කියලා.
උදාර සමරවීර අයියා අතින් තමා මේ ගීතයේ පද රචනාව, සංගීතය හා ගී තනුව මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ. උදාර අයියා මගේ හොඳ මිතුරෙක්. ඔහු තමයි “පෙරදා” ගීතය කරමුද කියලා මුලින්ම මට අදහස දැම්මේ. ඇත්තටම මේ ගීතය මට උදාර අයියා දුන්නේ මගේ හඩ මේ ගීතයට හොඳටම ගැළපෙන නිසා. පස්සේ මේ ගීතය අහපු ගොඩක් අය කිව්වා මේ ගීතය තව වෙනස් විදිහට නිර්මාණය කරන්න කියලා. උදාර අයියාත් ඒ එක්කෙනක්. ඒ අදහස් එක්ක තමයි “හරි ආදරයෙන් උන් කාලේ” ගීතය ගිටාර් වර්ෂන් එකක් විදිහට නිර්මාණය වෙන්න හේතුවක් වුණේ.