Uthmirror

මම වෘත්තිය මට්ටමේ ගායන ශිල්පිණියක් නෙමෙයි

මම වෘත්තිය මට්ටමේ ගායන ශිල්පිණියක් නෙමෙයි

දැනට ගීත කිහිපයක් නිකුත් කර ඇති රූබිනා ශබ්නම් යොවුන් ගායන ශිල්පිණියකි. මෑතකදී තම සැමියා වූ යොහාන් ඩෝල් සමගින් ආදරේ සුළඟින්.. නමින් අලුත්ම ගීතයක් ඇය විසින් පසුගිය වසර අවසානයේදී එළිදක්වනු ලැබීය. ලබන වසරේ ගීත කිහිපයක්ම නිකුත් කරන්නට සැළසුම් කරමින් සිටින රූබීනා ඒ පිළිබඳව අප සමග මෙසේ තොරතුරු බෙදාහදා ගත්තා.


රූබීනා දැනට කොපමණ ගීත ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද..
මම මුලින්ම ගීතයක් නිකුත් කළේ. මගේ මතකය හැටියට ඒ 2018 වගේ. මං දැසේ.. තමයි මම කරපු මුල්ම ගීතයේ නම. ඒක ලිව්වේ මාලනි ලියනගේ. සංගීතවත් කළේ ශේනාල් මද්දුමගේ. මේ ගීතය ආසියානු බී.බී.සී. රේඩියෝවේ පවා විකාශය වුණා. මෑතකදී නිකුත් කළ ආදරේ සුළඟින්.. ගීතයත් එක්ක මම දැනට මගේම කියලා ගීත හතරක් විතර එළිදක්වලා තියෙනවා. ඊට අමතරව සිංහල හා දමිල යුග ගීත කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. මම ගොඩක් ආසාවෙන් කරපු කවර් සෝන්ග් කිහිපයකුත් තියෙනවා මම නිකුත් කළ ගීත අතර.


ගායිකාවක් වෙන හීනේ ඇති වුණේ කොහොමද..
පාසල් කාලේ නම් මම ගයන්න, රඟපාන්න, නටන්න මේ කිසිම දේකට මම ඉදිරිපත් වුණේ නැහැ. මම ඉගෙනිමට අමතරව පාසල් කාලේ කරපු එකම දේ තමයි බාස්කට් බෝල් ක්‍රීඩා කරපු එක. කොටින්ම බාස්කට් බෝල් තමයි මගේ ජීවිතේ කියලා මම ඒ කාලේ හිතුවා. පස්සේ මම ලංකාවෙන් දෝහා කටාර් ඇවිල්ලා ජිවත්වෙද්දි මගේ තාත්තා කිව්වා ගීත ගයන්නත් පුළුවන් නිසා අපි ගීතයක් කරමුද කියලා. මොකද, මගේ තාත්තා දක්ෂ ක්‍රී බෝඩ් වාදන ශිල්පියෙක්. තාත්තා දැනගෙන හිටියා මට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. එතැනින් පස්සේ තමයි මම ගායිකාවක් විදිහට මගේ ගමන යන්න පටන් ගත්තේ.


ගායිකාවක් විදිහට දැන් ස්ථාවරද ඔබ..
මම වෘත්තිය මට්ටමේ ගායන ශිල්පිණියක් නෙමෙයි. ඒ හින්දා ගායිකාවක් විදිහට මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරද නැද්ද කියලා තිරණය කරන්න මට බැහැ. කරන හැම නිර්මාණයක්ම මම කරන්නේ මගේ ආත්ම තෘප්තියට, විනෝදයට. ඉතින් කරන නිර්මාණවලට මට හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම මම සතුටින් භාරගන්නවා. විවිධ අයට තියෙනවා නේ ඒ අයගේ රසයන්. ඉතින් මගේ ගීතවලට ප්‍රිය කරන අයත් ඒ අතර ඉන්නවා. බලමු ඉතින් ගායිකාවක් විදිහට ස්ථාවර වෙන්න මට තව කල් තියෙනවා.


මෑතකදී ඔබ අලුත් ගීතයක් නිකුත් කළා නේද..
ඔව්, ආදරේ සුළඟින්.. නමින්. මේක යුග ගීතයක්. මමත් මගේ සැමියා යොහාන් ඩෝල් සමග තමයි මේ ගීතය ගායනා කරන්නේ. ගීතය ලිව්වේ ජනංග විශ්වජිත්. සංගීතවත් කළේ දිනේෂ් හේමන්ත. මේ ගීතයට ලස්සන රූප රචනාවක් නිර්මාණය කළේ පත්මිල රවිශාන්. මේ වසරේදී මගේ අලුත් ගීතයක් එන්න තියෙනවා. ඒ ගීතයත් කරන්නේ මගේ සැමියාත් එක්ක. ඒ වගේම ලබන වසරේදී මම තව ගීත කිහිපයක්ම නිකුත් කරන්න සැළසුම් කරමින් යනවා.


ආපු ගමන ගැන තෘප්තිමත්ද..
ඇත්තටම ඔව්, ගායිකාවක් විදිහට කරපු නිර්මාණ අතළොස්ස ගැන මම ගොඩක් සතුටුයි. මොකද, මම කාලය අරගෙන තමයි මේ හැම නිර්මාණයක්ම කළේ. මේ කරපු ගී නිර්මාණ හරහා බොහෝ පිරිසක් මාව අඳුනගත්තා. මම වෘත්තියෙන් කටාර්වල පෙර පාසල් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මෙහේ තියෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාවක් සුනෝ ලංකා කියලා. එකෙත් මම වැඩ කරනවා. ඒ අතර ලැබෙන ඉඩ අනුව තමයි මම මගේ ගීත නිර්මාණ කරන්නේ.


උදව් කරපු පිරිසකුත් ඇති ඔබට?
මේ ගමන එන්න ගොඩක්ම මට උදව් කළේ මගේ පවුලේ අය. විශේෂයෙන්ම මගේ තාත්තා, අම්මා, නංගි. ඊට අමතරව මගේ පෙම්වතා යොහාන්. ඔහුගෙන් ලැබෙන සහය ඇත්තටම කියලා නිම කරන්න බැහැ. ඒ වගේම මතක් කරන්න ඕනා මට කටාර්වල මුණ ගැසුණ මගේ ක්ෂේත්‍රයේ මිතුරෝ ටික, අන්සාෆ් අමිර් හා ශනාස් අයියා, දිලිප ලියනගේ. ඊට අමතරව ශේනාල් මද්දුමගේ, මුෂ්සාඩ් හුවේස්. ගොඩක් අය ඉන්නවා ඉතින් මට උදව් කරපු. ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා මම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *