මයාන්ක් අග්‍රවාල් දැඩි සත්කාරයේ ඉන්න හේතුව සනාථ වෙයි
ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් ගුවන් ගමනකදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අගර්තාලාහි දැඩි සත්කාර ඒකකයට මේ වනවිට ඇතුළත් කර ඇත. මායන්ක් අගර්වාල් රංජි කුසලාන තරගයකට සහභාගී වීමෙන් පසු අගර්තාලා සිට සූරත් දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මුඛයේ සහ උගුරේ ඇති වූ අපහසුතාවයක් මත මයාන්ක් අගර්තලා රෝහලට ඇතුළත් කර තිබේ.
කර්නාටක කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය හොබවන අග්‍රවාල්ගේ තත්ත්වය මේ වන විටත් යහපත් නොවන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අගර්තලා රෝහල් සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන අතර, ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
මායන්ක් අගර්වාල් දැඩි ලෙස රෝගාතුර වීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ ඔහුගේ කළමනාකරුගේ පැමිණිල්ලක් මතය. ඔහු රෝහලට ගෙන යාමට පෙර මෙම තත්ත්වය ගුවන් තොටුපළේ නොසන්සුන්තාවක් ඇති කර තිබෙන අතර, ඔහු පානය කළ ජලයෙහි වස මිශ්‍රවී තිබුණේද එසේත් නොමැති නම් ජලයට වස දමා තිබුණේද යන්න සොයා බලන්නට පොලිස් විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.