Uthmirror

පුංචි කාලේ ඉඳලා මගේ හීනේ වුනේ නිවේදිකාවක් වෙන්න

පුංචි කාලේ ඉඳලා මගේ හීනේ වුනේ නිවේදිකාවක් වෙන්න

මේ දිනවල හිරු නාලිකාවේ දිගහැරෙන දිව්‍යාදරි ටෙලි නාට්‍යයේ දිනිති ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එන දිල්කි දිසානායක බොහෝ දෙනෙකු වර්තමානයේ ආදරය කරන ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. රංගනයට අමතරව දැනට රූපවාහිනි නිවේදිකාවක් ලෙසද දිල්කි කටයුතු කරමින් සිටියි. මේ නිසාම මෙවර ඉඩක් අප ඇය වෙනුවෙන් වෙන් කළා.


දිල්කි කියන්නේ අවුරුදු කුමරියක්?
ඔව්, 2019 වසරේ හිරු රූපවාහිනියේ නාළිකාව සංවිධානය කළ හිරු අවුරුදු කුමරිය තරගයේ මම අවසන් තරගකාරියන් පස් දෙනා අතරට ආවා. එහිදි මට හොඳම හිනාවට හිමි මිණි කිරූළත් දිනාගන්න පුළුවන් වුණා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයට මට පිවිසෙන්න මේ තරගය හරහා හොඳ අවස්ථාවක් නිර්මාණය වුණා කියලා.


ඔබව ගොඩක් අඳුන ගත්තේ හදවතේ කතාව ටෙලි නාට්‍යයෙන්?
ඔව්, හදවතේ කතාවේ සමින්දි කියන චරිතය තුළින් තමයි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණා. මම හිතන්නේ මාව ගොඩක් අය අඳුන ගත්තේ මේ චරිතය හරහා කිව්වොත් හරි. ඊට අමතරව දෙවැනි ඉනිමේ පවනි කියන චරිතයත් ප්‍රේක්ෂකයෝ අතරට ගියා. තව මම ගගන පියවර කියලා ටෙලි නාට්‍යයේ රඟපෑවා. හිරු අවුරුදු කුමරිය වෙන්න පෙර සිරසේ විකාශය වුණ නීල පබළු ටෙලි නාට්‍යයෙත් මම හිටියා.


දිල්කිව අපි මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක දකිනවා?
ඔව්, මේ දිනවල මාව දිව්‍යාදරි ටෙලි නාට්‍යයේ දිනිති කියන චරිතය හරහා ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. ඊට අමතරව ටෙලි නාට්‍යය කිහිපයකම පහුගිය දිනවල වැඩ කළා. දැනට චිත්‍රපටයක් සඳහාත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා මට. නුදුරේම මාව සිනමාව තුළිනුත් ප්‍රේක්ෂක ඔබට දකින්න පුළුවන්.


දිල්කි කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. මොකද හැමෝටම කලාවට සම්බන්ධ වෙන්න බැහැ. මම නම් හිතන්නේ දක්ෂතාවය කොපමණ තිබුණත් වාසනාව කියන දේත් ඊට බලපානවා කියලා. මම කලාවට ආවේ අහම්බෙන්. හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි අවසන් තරගකාරියන් අතරට එන්න ලැබුණ නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ.


ඔබගේ හිනේ වුණේ රංගනයට වඩා නිවේදිකාවක් වෙන්න?
ඒක තමයි පොඩි කාලේ ඉඳලා මගේ හීනේ වුණේ. ඇත්තම කියනවා නම් මම අවුරුදු කුමරිය තරගයට අයදුම් කළෙත් ඒ පැත්තට යන්න අවස්ථාවක් හදාගන්න. මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ස්ප්‍රිම් නාලිකාවේ. මේ දිනවල එම නාලිකාවේ වැඩසටහන් කිහිපයක්ම මගේ දායකත්වයෙන් සිදුවෙනවා.


පවුලේ අය කැමතිද දිල්කි කලාව පැත්තට යොමු වුණාට?
ඔව්, අම්මා, තාත්තා මේ හැමෝම කැමතියි මම කලාව පැත්තට සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම රංගන ශිල්පිණියක් වුණාට. අම්මා, තාත්තා හැරෙන්න මට තව අක්කා කෙනෙක් ඉන්නවා. එයාත් මට ගොඩක් උදව් කරනවා. ඒ අයට හරි ආසයි මම රඟපානවා බලන්න.
බුද්ධික සේනාධීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *