අදටත් මගේ ඉලක්කය ඉංග්‍රීසි ගුරුවරියක් වෙන එක
දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ලොක්කිගේ කතාව නරඹන ඔබට මලිතිගේ චරිතයට පණ පොවන දිල්කි හංසිකා අප කාටත් අමතක නොවේ. වර්තමානයේ සිටින දක්ෂ තරුණ රංගන ශිල්පිණියක්ද වන ඇය දෙරණ අවුරුදු කුමරියක්ද වෙයි. මෙවර තරු කතා බහ දිගහැරෙන්නේ ඇය සමගිනි.
කොහොමද මලිතිට ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳයි. මලිති කියන්නේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය රංගනයයි ඒ වගේම ටෙලි නාට්‍යයක මම රඟපාන පළමු ප්‍රධාන චරිතයත් මේක. රසික ප්‍රතිචාර නම් ඉහළින්ම ලැබෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන ඉතින්.
ඔබ අවුරුදු කුමරියක් විදිහට තමයි ක්ෂේත්රයට ආවේ?
ඔව්, 2021 වසරේ දෙරණ රූපවාහිනි නාළිකාව විසින් පැවැත්වූ අවුරුදු කුමරිය තරගයට තමයි මම සහභාගි වුණේ. එහි අවසන් තරගකාරියන් 12 දෙනා අතරට මම ආවා. ඊට පස්සේ තමයි රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ.
කලාවට එන්නේ ඔබ අවුරුදු කුමරියක් වෙන්න කලින්?
ඔව්, 2018 වසරේදී තමයි මුලින්ම වෙළෙඳ දැන්වීමකට දායක වෙන්නේ. එතකොට මම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි හිටිය කාලයේ. ඔය අතරේ ටෙලි නාට්‍යය රංගනයටත් ආරාධනා ලැබුණා. නමුත්, අධ්‍යාපන කටයුතු නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. දැනට මම ගීත රූප රචනා විතරක් 20කට වැඩිය රඟපාලා තියෙනවා.
කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබුණද?
නැහැ. මගේ හිනේ වුණේ ගුරුවරියක් වෙන්න. විශේෂයෙන්ම ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. අදටත් මගේ ඉලක්කය ඒක. දැනට මම ඒ සම්බන්ධව හදාරමින් ඉන්නවා. පාසල් යන කාලේ තව මම දක්ෂයි නර්තනයට. හැබැයි හිනෙන්වත් හිතුවේ නැහැ රංගන ශිල්පිණියක් වෙන්න. නමුත්, අහම්බෙන් මාව ඒ පැත්තටත් යොමු වුණා. අද නම් සතුටුයි රංගනය පැත්තට යොමු වුණ එක ගැන.
පවුලේ අයගේ කැමැත්ත කොහොමද ඔබ රංගනය පැත්තට යොමු වුණාට?
ඒ අය ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම අම්මා හා නංගි. පවුලේ අයගේ සහය නම් නිතරම මට ලැබෙනවා මගේ වැඩවලට. කොටින්ම කියනවා නම් පවුලේ අය නිසා තමයි මේ තරම් දුරක් ආවේ. ඒ අය හැම වෙලාවේම මගේ පස්සෙන් හිටියා. මට උදව් කළා.
බුද්ධික සේනාධීර