Uthmirror

වසරම ගොඩ දාගත්ත ෂාරුක්ගේ අන්තිම චිත්‍රපටය

වසරම ගොඩ දාගත්ත ෂාරුක්ගේ අන්තිම චිත්‍රපටය

පසුගිය වසර කියන්නේ ෂාරුක්ගේ ස්වර්ණමය වසර කිව්වොත් වරදක් නෑ. එහෙම කියන්න හේතුව තමයි 2023 වසරට අදාළව ෂාරුක් විසින් රඟපෑ ‘පතාන්’ සහ ‘ජවාන්’ චිත්‍රපට ද්ව්ත්වයම ඉහළ ආදායමි වාර්තා තබමින් තිරගත වීම. ‘පතාන්’ මෙන්ම ‘ජවාන්’ චිත්‍රපටය ද ලොව පුරා තිරගත කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි දහකට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින්. ජවාන් ඒ අතරින් විශේෂ වෙන්නේ එතෙක් මෙතෙක් තිරගත වූ හින්දි චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපැයු දෙවන චිත්‍රපටය ලෙසින් වාර්තා පොත් අතරට එකතුවීම.


2023 වසරට අදාළව ෂාරුක්ගේ තෙවැනි චිත්‍රපට වන්නේ Dunki. පසුගිය දෙසැම්බර් මාසයේ අවසානයේ සිට ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹු ‘Dunki’ හාස්‍ය පිරී කොමඩි ශානරයේ චිත්‍රපටයක් වන අතර එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන රාජ් කුමාර් හිරාණි විසිනි. 2018 වසරේ තිරගත වූ ‘සන්ජූ’ චිත්‍රපටයෙන් පසුව හිරානිගේ චිත්‍රපටයක් ලෙස ඩන්කි තිරගත වන්නේ වසර හයකට පසුව වීම විශේෂත්වයක්.


‘Dunki’ චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ ඉන්දියාවේ පංජාබි ග්‍රාමයේ වෙසෙන යහළුවන් තිදෙනකු විසින් එංගලන්තය බලා යන්නට සිහින දකින දුෂ්කර වූ ගමනාන්තයක් පිළිබඳවයි. මේ යහළුවන් තිදෙනා එංගලන්තය බලා සිහින දකින්නේ අඩුම තරමේ වීසා පත්‍රයක් හෝ ඉංග්‍රීසි භාෂාවේ වචනයක් හෝ නොදැනුවත්ව. අවසානයේ මොවුන් තිදෙනා එංගලන්තය බලා යන්නට තීරණය කරන්නේ ගුවනින් නොවේ ගොඩබිමිනි. ඒ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස. මේ නීතිවිරෝධී සංක්‍රමණය හැඳින්වෙන්නේ ‘Donkey flight’ යනුවෙනි. එය පංජාබි භාෂාවෙන් ‘Dunki’ යනුවෙන් හැඳින්වෙයි.


චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘හර්දයාල් සිං’ හෙවත් ‘හාඩි’ සිං චරිතය සඳහා පණ පොවන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන් විසිනි. තප්සි පන්නු, විකී කෞෂාල’, බෝමන් ඉරානි වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් ‘Dunki’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙයි. චිත්‍රපයේ කතාව සහ තිර පිටපත රාජ්කුමාර් හිරාණි, අභිජාත් ජෝෂි, කනිකා දිලන් තිදෙනා විසිනි රචනා කර ඇති අතර චිත්‍රපටය සංස්කරණය කර ඇත්තේ අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි විසිනුයි.


ඉන්දියානු රුපියල් කෝටි 120ක් වියදමක් දරා නිෂ්පාදනය කර ඇති ‘Dunki’ චිත්‍රපටය මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් උපයා ගනිමින් ප්‍රදර්ශනය වෙයි. චිත්‍රපටයේ සියළු රූගත කිරීමි ඉන්දියාවේ මුම්බායි, ජබල්පූර්, කාශ්මීරය, සෞදී අරාබිය, බුඩාපෙස්ට්, ලන්ඩන් ආශ්‍රිතව සිදු කර ඇත. විචාරකයන් සහ ප්‍රේක්ෂකයන්ගේ මේ වනවිට විශාල ප්‍රතිචාරයක් ‘Dunki’ වෙත ⁣හිමිවන අතර බහුතර විචාරකයන් පැවසුවේ ‘ඩන්කී’ යනු හිරානිගේ මෙතෙක් පැමිණි කොමඩි චිත්‍රපටවලින් හොඳම චිත්‍රපටයක් ලෙස හැඳින්වීමට හැකි බවයි.
– මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *