Uthmirror

ඇට්ලන්ටිස් රාජධානිය නැවතත් බේරාගන්නට ආ ඇකුවාමෑන්

ඇට්ලන්ටිස් රාජධානිය නැවතත් බේරාගන්නට ආ ඇකුවාමෑන්

DC සිනමා විශ්වයේ සිටින අතිශය ජනප්‍රිය කොමික් චරිතයක් වන ඇක්වාමෑන් චරිතය දැවැන්ත කතාබහට ලක් වූයේ 2017 වසරේ තිරගත වූ ‘ජස්ටිස් ලීග්’ DC චිත්‍රපටය සමඟිනි. එහිදී ජස්ටිස් ලීග් චිත්‍රපටය හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඇක්වාමෑන් චරිතය පාදක කරගනිමින් 2018 වසරේදී ඇක්වාමෑන් නමින් තනි චිත්‍රපටයක් නිර්මාණය වෙන අතර, එය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1,152ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් උපයාගන්නට සමත් වුණා. ඇක්වාමෑන් චරිතය සඳහා රඟපෑවේ හොලිවුඩයේ සුපිරි නළු ජේසන් මොමෝ විසිනි.

වසර හයකට පසුව ඇක්වාමෑන් චරිතය නැවතත් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන අතර, ඒ Aquaman and the Lost Kingdom චිත්‍රපටයෙනි. මෙවර චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ නැවතත් ඇටිලන්ටීස් රාජධානියේ සාමය වෙතට එල්ල වන බලවත් තර්ජනයක් පිළිබඳවය. ඒ ඇක්වාමෑන්ගේ පරම සතුරා වන බ්ලැක් මැන්ටා ප්‍රමුඛ ඔහුගේ හමුදාව ඇටිලන්ටීස් රාජධානිය විනාශ කර මුළු පෘථීවියේ පාලනය තමන් සතු කරගන්නට උත්සාහ දරයි.

පීටර් සෆ්රාන්, මේස් වොන් සහ රොබ් කෝවන් තිදෙනාගේ සුසංයෝගය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 205ක් වැනි අති දැවැන්ත මුදලක් වියදම් කරමින් තැනූ මෙම චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීම සිදු කරන්නේ වෝනර් බ්‍රදර්ස් සමාගම විසිනි. මැලේසියානු – ඔස්ට්‍රේලියානු සමිභවයක් සහිත ජේමිස් වොන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු ඇක්වාමෑන් පළමු චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂළුරයාද වෙයි. සුපුරුදු පරිදි ඇක්වාමෑන් ලෙස මෙවරද ජේසන් මොමෝ පෙනී සිටින අතර, ඔහුගේ පෙමිවතිය වන ‘මීරා’ චරිතය සඳහා පණපොවන්නේ හොලිවුඩයේ සුපිරි නිළි ඇමිබර් හාර්ඩ් විසිනි.

නිකොල් කිඩිමන්, අබිදුල් මාටීනි, පැට්‍රික් විල්සන් ඩොල්ෆ් ලොන්ඩ්ග්‍රන් ඇතුළු පිරිසක් ඇක්වාමෑන් දෙවැන්න සඳහා රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර ඇත්තේ ඇමරිකාවේ හවායි දූපත්, ලොස් ඇන්ජලීස් නුවර, ලන්ඩනයේ සහ නවසීලන්තයේ පිහිටි අලංකාර දර්ශන තලයන්හීදිය.

DCEU චිත්‍රපට මාලාවේ 15 වන චිත්‍රපටය වන මෙය DCEU ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කළ අවසාන චිත්‍රපටයද වෙයි. ජේසන් මොමෝ පැවසුවේ මෙය තමන්ගේ අවසන් ‘ඇක්වාමන්’ චිත්‍රපට බවත් නැවත ඇක්වාමන් ලෙස පෙනී සිටීමට තමන් අදහස් නොකරන බවත්ය. එමෙන්ම අධ්‍යක්ෂ ‍ජේමිස් වොන් පැවැසුවේ ‘ඇක්වාමන්’ දෙවැනි චිත්‍රපටය පෙර නිකුත් වූ DC චිත්‍රපටවලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් වෙනත් කිසිදු DC චරිතයක් චිත්‍රපටය තුළ දැකගත නොහැකි බවයි. ඒ අනුව DCEU ව්‍යාපෘතිය මෙතැනින් අවසන් වන අතර නවතම සුපිරි වීර චිත්‍රපට මාලාවක් නිර්මාණය කිරීමට වෝනර් බ්‍රදර්ස් සමාගම දැනටමත් තීරණය කර ඇත.

  • මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *